23 October, 2014

ඔබත් බාත්රූම් එකට හෑන්ඩ් ෆෝන් එක අරන් යනවද?



බාත්රූම් එකකට යත්දි ගෙනියන බඩු භාණ්ඩ ගැන ඇහුවොත් මොන මොනවා මතක් වෙයිද? එක එක බඩු භාණ්ඩ ඇති. ඒත් ඉතිං මගෙනම් අත්‍යාවශ්‍යම භාණ්ඩය හෑන්ඩ් ෆෝන් එක.!! …… "නිවසෙන් පිට තැනක බාත්රූම් එකකට යනවා නම් ජංගමයා රැගෙන යාම" මම නම ගලේ කෙටූ අකුරක් වගේ හිතේ කෙටූ කාරණාවක්.

ඒ ඇයි කියන එකටත් ලොකූ නැති පොඩී නිධාන කතාවක් තියෙනවා. මේක සිද්ධ උනේ මම කලින් වැඩ කරපු තැනදි. මම කලිනුත් කියලා තියෙනවා වගේ මේ ආයතනය ආනයන/ අපනයන භාණ්ඩ වලට තත්ව සහතික නිකුත් කරන ආයතනයක් නොවැ. ඉතිං ක්ෂේත්‍ර නිළධාරින් වෙච්චි අපිට වැඩ කරන්න උනෙත් අපේ සේවය ලබන එක එක ආයතන වල. බොහෝ දවස් වලට දිවාරාත්‍රී දෙකම වැඩ කරන්නත් උනා. ඇතම් දවස් වල රාත්‍රී සේවයත් කලයුතුයි කියා පණිවිඩය ලැබෙන්නෙ දවලුත් වැඩ කරලා හවස හයට විතර. අනේ ඒ වෙලාවට අපේ බොසා වෙච්චි පළාත් පාළක වරයාගේ මවුපියන්ට පිංදිදී අපි දිවාසේවය නිම කරලා එහෙම්ම රාත්‍රී සේවය කරන තැනට බඩගානවා. එහෙම යන බොහෝ තැන්වල අපිට පවිත්‍ර වීමට පහසුකම් සපයා තිබෙන අතර අපෙත් බෑග් වල කොයි වෙලෙත් පොඩි තුවායක් ආදී අත්‍යාවශ්‍ය දේ තියෙනවා.

ඉතිං මේ කියපු පිංවත් දවසේ මම දහවල එක තැනක වැඩ කරලා රෑ වැඩට ආවා අර කෙල්ලෙක්ගෙ සායට යටින් අත් දාලා ෆොටෝ ගත්තු දවසෙ ගිය මහබාගෙ කිට්ටු ආයතනයට. ඔය ආයතනය මම නිතර ආගිය තැනක් නිසාම ඕකෙ පිස්සො ටික මම පිස්සත් එක්ක හොදට ෆිට්. ඕකෙ වැඩ කරත්දි එක එකාට දිරච්ච ලණුදෙන එක අපේ පුරුද්දක් වෙලා තිබුනා. මතකනෙ අර එකෙක්ව යවලා කෙල්ලෙක්ගෙන් වාජිකර්ණ ඉල්ලපු සීන් එක.!

කියන්න සතුටුයි පිංවතුනේ මේ කියන දවසෙ ලොතරැයි දිනුම ඇදුනෙ වෙන කාටවත්ම නෙමේ, ප්‍රියාට… අනේ ඉතිං මමත් රාත්‍රීසේවයට වාර්ථා කොරලා ප්‍රඩක්ෂන් රූම් එකෙත් පැයක් හමාරක් රවුම් ගහලා මුහුණ එහෙම හෝදන් අර පිස්සො සෙට් එකත් එක්කම රෑ 8ට විතර කෑමත් කාලා ආයෙත් ටිකක් වෙලා ප්‍රඩක්ෂන් චෙක් කරලා හිටියා.

එදා දවසෙ ඔය ආයතනයෙ සේවය කරපු මණ්ඩලේ කචල් උනු කාර්‍ය මණ්ඩලය ටිකක් බිසී නිසත් මට ක‍රන්න තරම් වැඩක් එදා නොතිබුන නිසත් උදේ ඉදන් වැඩ කරලා මහන්සියට ගියා පොඩ්ඩක් නාගන්න බාත්රූම් එකට. මේ බාත්රූම් එක ටිකක් ඈතට වෙන්නයි තියෙන්නෙ. අරුන් ටික බිසී නිසා උන්ටත් නොකියා, මගේ හෑන්ඩ් ෆෝන් එකත් චාජරේට ගහලා මම ගියා දියකෙළියට.

අනේ මගේ කරුමෙට ඒ දියකෙළිය, මළකෙළියක් වෙයි කියලා මම හීනෙන්වත් හිතුවෙ නෑ ඕන්!. මමත් නාගෙන ඇඟපතත් පිහදගෙන දවල් ඇදන් හිටපු ඇඳුම් ටිකම ආයෙ ඇදගෙන (දහඬිය ඇදුම් තමා ඉතිං, මක් කරන්නද) අනේ එළියට එන්න බලත්දි කියන්න සංතෝෂයි සහෝදරවරුනි, මටත් වැඩේ සිද්ධ වෙලා.…… ඔව් ඔව් මොකෙක් හරි යකෙක් බාත්රූම් එක එළියෙන් ලොක් කරලා.

මටත් ගරිල්ලා ප්‍රහාරයක් එල්ල කර ඇතිබව මගේ බොක්කට දැනෙත්දි විණාඩි දහයක් පමණ සිංහනාද කරමින් "දොර ඇරපන් යකෝ!" කියමින් කෑගැසුවත් සිංහනාදය බලුකෙඳිරියක් වීමට කලින් මම නිශ්ෂබ්ද උනේ මගෙ මියුරු හඬ ඇසෙන මානෙ එකෙක් තියා යකෙක් වත් නොවූ බව මගේ ටිකිරි මොලේට වැටහුන නිසයි.

අනේ ඊට පස්සෙ මක්කරන්නද?? නැව ගිළුනත් ගැට්ටෙ බජවු කියලා මාත් මට නෙමේ වගේ අයිනට වෙන්න තියෙන කොමඩ් එක උඩ වාඩි වෙලා පොඩීම පොඩියට නින්දෙයි සුවනින්දෙයි වෙනස හෙවුවා…!!

කොහොමින් කොහොම හරි දවසම බිසී වෙලා පස්ස කැඩිච්ච කඩියො රැල වගෙ හිටපු අරුන් ටිකට ඉස්පාවුවක් ලැබිලා තියෙන්නෙ රෑ 12ට කිට්ටුවෙත්දි. ඉතිං ඒ වෙලාවට එන පොඩි බඩගින්නට මොනාහරි බඩට දාගමු කියලා සෙට් වෙත්දි තමා උන්ට මම අතුරුදහන් නේද කියලා මීටර් වෙලා තියෙන්නෙ.… අනේ අපරාදෙ කියන්න කෂ්ටිය සික්කො ටිකත් කැඳවලා හැම අස්සක් මුල්ලක් ගානෙම හොයලා අන්තිමේ මහා මෙහෙයුමක් කරලා මාව බාත්රූම් එකෙන් මුදා ගත්දිත් මම මදි නොකියන්න නිදි.

ඒත් ඉතිං ඔය මහා මුදා ගැනීමේ මෙහෙයුම දියත් කරපු උන් අතරෙ මේ අවලම් වැඩේ කරපු එකා හිටියා කියන එක හෙටත් ඉර පායනවා වගේ විශ්වාසෙන් දැනන් හිටියත් ඌව හොයා ගන්න එක නිධානයක් හොයා ගන්නවට වඩා අමාරු බව දන්න නිසාම වැඩේ අතහැරලා දැම්මා.………

කොහොම උනත් එදායින් පස්සෙ නම් මම ගෙදරින් පිට කොහෙ බාත්රූම් එකකට ගියත් හෑන්ඩ් ෆෝන් එක ගෙනියන්න නම් අමතක කරන්නෑ………………… අහවල් දේකට නෙමේ බොලවු අර වගේ වැඩක් උනොත් එළියෙ ඉන්න එකෙක්ට කෝල් එකක් දෙන්න…!!!.




© ප්‍රියා. [22/10/2014]

(පින්තූරයට ස්තූතිය……
www.fnbworld.com / www.numbertwoguide.com)

09 October, 2014

වර්ෂාව සහ සහන්‍යා……


උදේ පටන් වැටෙමින් තිබූ වර්ශාව යන්තමින් අතුරුදන් වුවද වැහි අදුරත් ශීත කාළගුණයත් පරිසරයට එක් කර ඇත්තේ මහා ගුප්ත බවකි. අහසේ වර්ශාව නතර වී තිබුනත් බසයක් එනතුරු බස් නැවතුමක් නොමැති නැවතුමේ මඟ බලා සිටින ඇය නම් තවමත් කුඩය දිග හැරගත් ගමන්ය.

දිගු සායත් චාම් බ්ලවුසයත් හැඟීම් විරහිත මුහුණත් ඇයට එක් කර ඇත්තේ මහා පරිණත ගැහැණියකගේ පෙනුම මිස උසස් පෙළ සිසුවියකගේ පෙනුමක් නම් නොව… තරමක වේලාවකින් පසු පැමිණි බස් රියේ ආසනයක් නොමැතිව හිටගෙන යාමට සිදු වුවද ඇය තම අත රැදි පංති පොත් කිහිපය දමාගත් අත් බෑගය කිසිවෙකුටත් නොදී ඉදිරිය බලාගෙනම ගමන් කලහ.
********************

සහන්‍යා කුඩා කල සිටම ඉගෙනීමට ලැදි ඉතා නිවුනු චරිතයකි. රජයේ ආයතනයක ලිපිකරුවෙකු මූලික කරගෙන ගොඩ නැගී තිබූ පවුලේ එකම දරුවා නිසාවෙන්දෝ පවුලට වද දුන් කොතරම් අගහිග කම් තිබුනත් ඇයට හැකිතාක් ඉගැන්වීමට මවුපියනුත් අපමණ වෙහෙසක් දැරීය.… තම පවුලට තිබෙන අඩුපාඩු වල නිමක් දැකිය හැක්කේද තම අධ්‍යාපනයෙන් පමණක් බව හොදින් තේරුම් ගෙන සිටි සහන්‍යා තම යොවුන් සිතට එබී බැලූ සියළු පෙම් හීස‍රයන්ට පිටුපෑවේ තම හැඟීම් උපන් ගෙයිම මරා දමමිනි.

"චාමර ළමයා ගමේ ඇවිත්…!!"
"කවද්ද?"
"දන්නෙ නෑ… වැඩ ඇරිලා එත්දි හම්බ උනේ…"
"ඒක නෙමේ කෙල්ලගෙ සපත්තු දෙක දැන්නම් දාන්නම බැරි ගානයි,"
"හ්ම්ම්… බලමු මේ පඩියෙන් වත් මුකුත් කරන්න."
කාමරය තුලට වී පාඩම් කරමින් සිටි සහන්‍යාට චාමර ගමේ පැමිණි ආරංචිය අනියමින් කණ වැකුන මොහොතේ පටන් පාඩම් කීරිමට තරම් හිතේ නිදහසක් නම් තිබුනේ නැත.

චාමර ‍යනු නෑකමක් නොතිබුනත් සහන්‍යා සමඟ සහෝදරයෙක් මෙන් හැදී වැඩුනු තරුණයෙකි ආරක්ෂක අංශ සේවකයකු වන ඔහු ගම පැමිණෙන්නේ මාස කිහිපයකට වරකි. චාමරගේ මෙවර ගම පැමිණීම මේ තරම්ම සහන්‍යාගේ සිත සසල කර වූයේ චාමර ගියවර ගමේ පැමිණි විට සිදුවූ සිදුවීම හේතුවෙනි.…… මෙතෙක් කල් සහෝදරයන් මෙන් සිටි චාමරගේ සිත තුල තවදුරටත් තමා පිළිබඳව ඇත්තේ සහෝදර පෙමක් නොවන බව ඇය දැන ගත්තේ චාමරගෙන් ඉදිරිපත්වූ තමාගෙන් ප්‍රතික්ෂේපවූ යෝජනාව හේතුවෙනි. ඔහු ගියවර තම ආදරය අයදමින් පසුපස ආ හැටි මතක් වන විට තව දු‍රටත් පාඩම් කිරීමට තරම් නිදහසක් හිමි වූයේ නැත.
………………………………………

"ඔයත් එන්න දෝණි, මාමා ඔයාව බලන්නත් ආසාවෙන් හිටියෙ…"
"අනේ ඔය දෙන්නා ගිහින් එන්න අම්මෙ. මට අද පාඩම් වැඩ ගොඩ ගැහිලා අනේ."
"ඔය ළමයා හිටපුදෙන් ජයන්ති. අද වැස්සකුත් දෙන්න වගේ. තෙමිලා ලෙඩ උනොත් පාඩම් වැඩත් පාඩුයි.…"
රෝහල්ගතව ප්‍රතිකාර ලබන මවගේ සහෝදරයා බැලීමට මවත් පියත් පිටවූ පසු ඇය තම පාඩම් වැඩ සමඟ තනි විය.… සිදු නොවිය යුතු දෙ‍යක් සිදු වීමට යන විට ඊට එරෙහි වීමට නොහැකිව කඳුළු සලන්නාක්සේ ඇද වැටෙමින් තිබූ පොද වැස්ස මහ වැස්සක් බවට පත්වීමට ගත වූයේ නිමේෂයකි.…

ටොක්… ටොක්… ටොක්… ටොක්…
"මේ වෙලාවෙ කවුද?… අනික මේ මහ වැස්සෙ,,,,,, අහ්හ්හා!!! චාමර අයියා! අ..අයියෙ අම්මලා නම් ගෙදර නෑනෙ!!"
"අම්මලව නෙවේ මම ඔයාව හම්බවෙන්නයි ආවෙ…"
"ආ… කියන්න අයියෙ.!"
"මෙතන තෙමෙනවා ළමයො, පොඩ්ඩක් ගේ ඇතුලට එන්න්නද?"
"හ්ම්ම්… හ්හ් ඒත්… හුම් එන්න…"
"ඔයාගේ තීරණේ මොකක්ද නංගි?"
"කීපාරක් ඇහුවත් මට තියෙන්නෙ එකම උත්තරයයි අයියෙ"
"මගෙ මොකක්ද තියෙන අඩුව??"
"මට සමාවෙන්න අයියෙ!"
"කියනවා මට……"
"අනේ ඇයි මේ? කවදාවත් නැතුව මොකෝ චාමර අයියෙ මේ?"
"නෑ මට අද දෙකෙන් එකක් විසද ගන්න ඕන සහන්‍යා…"
"අනේ අයියෙ ළඟට එන්න එපා!! අනෙ ප්ලීස් මාව අත හරින්න…!"
"අද මේ අත අල්ල ගත්තෙ අත හරින්න නෙමේ කෙල්ලෙ…"
"අනේ එපා අයියෙ ප්ලීස්… අනේ අයියෙ දෙයියන්ගෙ නාමෙට මාව අත හරින්න අනේ…!!"

චාමර තුල දැවෙමින් තිබූ කාම ගින්න නිවා දැමීමට තරම් නිවසෙන් පිට ඇඳ හැලෙන මොර සූරන වර්ශාවවත් නිවස තුල සහන්‍යාගේ දෙනතින් ඇද වැටෙන කඳුළු වර්ශාවවත් ප්‍රභල වූයේ නැත.

ඇගේ අවසරයකින් තොරවම නිරුවත්කල ඇගේ සිරුරෙන් ඔහුගේ ගත සනසා ගත් චාමර මහ වර්ශාවේම පිටව ගියේ ඇයගේ සෝ සුසුම් කුණාටුවට මුහුණ දීමට මහ වර්ශාවට මුහුණ දීම පහසු නිසාවෙනි.…… කාන්තාවන්ගේ වටිනාම දෙය ‍යැයි බොහෝ දෙනා ලංසු තබන ඇගේ පිරිසිදුභාවය නම් කන්‍යා පටලය සොරාගත් සොරා පසුදාම ගමෙන් පිටව ගියේ කිසිවක් වූ බවක් නොදන්නා අයෙකු මෙනි. කාටත් හොරා ඔහු අතින් කෙළසුන ජීවිතයත් දරාගෙන සිටින ඇයට දින සති මාස ගෙවුනේ කල්ප කාලයෙනි.…

කිසිවක් නොදත් මවුපියන් නිසා අරමුණකින් තොරව කය පමණක් අධ්‍යාපන කටයුතු වල යොදවා සිටි සහන්‍යාට චාමර නගරයේ ලොකු මුදලාලි කෙනෙකුගේ දුවක විවාහ කර ගැනීමට යන ආරංචිය කණ වැකෙන්නේ චාමරගේ ඊළග ගම පැමිණීමෙදිය.
********************

"හරි මල්ලි. ඔය දිග සායක් ඇදලා බහින්නෙ, ඒ ළමයව තමා ගන්න ඕන. මතකනෙ කොල්ලො, වැඩිවෙලා රැදෙන්න නම් බෑ!"
"හරි මහත්තයා, ඔයාම ගෑණු ළමයට කතා කරන්න. නැත්නම් ත්‍රීවිල් එක කකුල් දෙක ගාව නතර කරත්දි ඒ ළමයත් බය වෙයි. හි…හි…"……………………………………
"නඟින්න ඉක්මනට…!"
"චාමර අයියා…"
…………………………………………

"මට ඔයත් එක්ක ටිකක් කතා කරන්නයි ඕන කිවුවෙ……!!" සමනළ ගෙස්ට් නාම පුවරුව පසුකර නැවැත්තූ ත්‍රීරෝද රථයෙන් බසිමින් ඇය පැවසුවෙ කේන්තියත්, කණගාටුවත් මුසු හැඟීමෙනි.
"හරි ළමයො, එහෙම කියලා අපිට පාරවල් ගානෙ කතා කරන්න බෑනෙ! මේ මගෙ යාළුවෙක්ගෙ තැනක්. බය නැතුව එන්න.… එන්න ඉතිං ඇතුලට."
"මට ඔයත් එක්ක ටිකක් කතා කරන්නයි ඕන චාමර අයියෙ…"
"හරි කෙල්ලෙ අපි ඒකටනෙ ආවෙ. අපි ටිකක් ඉදලා ඇති තරම් කතා කරමු.…" හැද සිටි ඉරි කමිසය උනා දමමින් සහන්‍යාට ලංවූ චාමර ඇඟේ තොල් පෙති සිප ගැනීමට අසාර්ථක වෑයමකය……
"මට පැය දෙකයි තියෙන්නෙ… මම ගෙදරට කිවුවෙ පංති කියලා… අනේ ප්ලීස් මාව තේරුම් ගන්න"
"ආ…පෝ… මේ වැඩේට පැය දෙකක් වැඩිත් එක්ක කෙල්ලෙ."
"දෙ‍යියන්ගෙ නාමෙට මේ සෙල්ලම දැන්වත් ඇති!! මට කියන්න, ඔයා බඳින්න යන්නෙ ඔයා අතින් උන වැරද්ද ඔයාට දැන් අමතකද? ඇයි මට මෙහෙම අපරාධයක් කලේ!! ඔයා දැන් ඔය මම වගේම තවත් කෙල්ලෙක්ව විනාශ කරන්න නේද යන්නෙ…??"
"මම ඔයාව කවදාවත් අමතක කරන්නෑ වස්තුව…"
"මම අහන්නෙ ඔහේ මට කරපු අපරාධෙ ගැන. දැන් අර තවත් කෙල්ලෙක්ට කරන්න යන අපරාධෙ ගැන!!"
"හම්මේ… පුංචි කෙල්ලගෙ සැර! මම ඉන්දීවරීව බැන්දත් ඔයාව අමතක කරන්නෑ වස්තු. මම ඔයාව රැජිණක් වගේ බලාගන්නවා."
"ඒ කියන්නෙ… ඒ කියන්නෙ මම ඔහේගෙ හොර,,,……" ඇගේ කේන්තිය හැඬුමක් සමග මුසු වීමට ගතවූයේ තත්පරෙන් පංගුවක කාලයකි.
"අපි හැමෝටම අපිට ඕන දේවල් අපිට ඕන විදිහට ලැබෙන්නෑ. ඒක තමා ඇත්ත. මම මුහුණ හෝදන් එන්නම්. ඔයා ‍රෙඩි වෙලා ඉන්න. නැත්නම් පැය දෙක අපරාදෙ! හ්ඃ හ්ඃ…" චාමර නානකාමරයට වැදුනේ නිරුවතින් සිටින උඩුකයට තුවාය දමා ගනිමිනි.

ශෝකය, කෝපය, ආත්මානුකම්පාව මුසු හැඟීමෙන් නානකාමරයේ දොර දෙස බලා සිටි ඇය නැඟී සිටියේ නිවසේ සිටම සැලසුම් කර පැමිණි ගතයුතු අවසන් තීරණය ස්ථීර කර ගැනීමෙන් පසුය.

මේසය මත තබා තිබූ ඔහුගේ ජංගම දුරකථනයෙන් ගත් යම් ඇමතුමකට මවාගත් කළබලයකින් යුතුව පණිවිඩයක් දී දුරකථනය තිබූ තැනම තැබූ ඇය නැවත ඇදේ වාඩි වූයේ තම අත්බෑගයද උකුලට ගෙනය.

නිදහසේ ඇරගත් උඩුකයත්, තුවායකින් පමණක් වසාගත් යටිකයත්, අතින්ගත් කලිසමත් ගෙන කාමය වෑහෙන දෙනතින් පැමිණි චාමර කලිසම ඇඳුම් රාක්කයේ එල්ලා සහන්‍යා දෙස බැලීය…….
තම උණුසුම පහකර ගැනීමට මදක් ලිහිල් කර තිබූ බ්ලවුසයෙන් පෙනෙන තිසර පටෙයෙන් වැසුන ඇගේ පිරිපුන් ළැම දුටුවේ තමන්ගේ රාගයට අත වනන හංස ජෝඩුවක් ලෙසිනි.… ඇයට අවශ්‍යව ඇත්තේද එයයි!

ඇද ආසන්නයටම පැමිණි චාමර හැඳ සිටි එකම වස්ත්‍රයවූ තුවාය ගලවා ඇය වෙත ලංවූයේ පෙර දින බලෙන් විඳි කම්සුව අදදින සිත්සේ විඳ ගැනීමටය……………

"මගෙ අම්මෝ…!! මොකක්ද යකෝ මේ කලේ?? අනේ මාව බේරගනියෝ…!" ඇගේ දකුණතේ නිවසේ සිටම ගෙනා අත්බෑගයේ සඟවාගෙන සිටි මුවහත් පිහියය. වමතේ මොහොතකට පෙර චාමර සතුව තිබූ ඇය අමාරුවේ දැමූ අවයව‍යය…!!!!!

"නෑ මම උඹව මරන්නෑ. මම මැරෙන්නෙත් නෑ. උඹ හිතුවද මම උඹට බයවෙලා උඹෙ හොරගෑණි වෙයි කියලා? තුක්ඃ! මම උඹට මැරෙන්න දෙන්නෑ. ඔය එන්නෙ කට්ටිය මම අවශ්‍ය තැන්වලට කතාකරලා තියෙන්නෙ. හහ් හහ් හාඃ…" ඈතින් ඇසෙන ගිලන් රථයේ හඬ පරයා ඇගේ රුදුරු හඬ ඇසෙන්නට විය.

සිහිසුන්ව වැටුන චාමරගේ ඇඟට උඩින් පැන නාන කාමරයට ගිය සහන්‍යා තම වමතේ සිරඟතව සිටින චාමරගේ ලිඟුව වැසිකිළියට මුදා හැරියේ කඳුළු පිරි දෙනෙතනි.…
"උඹ මාව විනාශ කලා. දැන් උඹත් ඉවරයි… අපි දෙන්නම ජීවත් වෙමු… විඳව විඳව ජීවත් වෙමු!!"
දඩාස්… දඩාස්…
"කරුණාකරලා මේ දොර අරින්න. නැත්නම් අපිට වෙනවා මේ දොර කඩන්න." සහන්‍යා පියවි සිහියට එළඹියේ කාමරයට පිටතින් ඇසෙන හඬත් සමඟිනි.

අහස නැවතත් දෙදරා යමින් තිබේ. ඇගේ ජීවිතයට තවත් මහ වැස්සක් වැටීමට නියමිතය. නමුත් ඕනෑම කුණාටුවකට මුහුණ දීමට ඇය දැන් සූදානම්ය.



©ප්‍රියා.

(පින්තූරයට ස්තූතිය……
http://tuyetdinhsinhvat.deviantart.com)

08 July, 2014

ඩෙංගු සුව කරන හොදම බෙහෙත මුත්‍රාද?


ගිය මාසෙ අන්තිම හරියෙදි අපෙ මල්ලිට ඩෙංගු මදුරුවෙක් පොඩි පහේ තෑග්ගක් දීලා රෝහල් ගත වෙන්න උනා නොවැ. කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඩෙංගු ශ‍රීරගත වී ඇත‍යි හදුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලෙත් කිහිප දිනක් ප්‍රතිකාර ලැබීමට සිදුවූ අතර ඒ දින තුනක් එක දිගට ඔහු ලග ඉන්න උනෙත් මටයි.…

කොහෙද ඉතිං ආචාරියතුමා ගස් බැදීමේ සහා ගස් බැදගැනීමේ සංදර්ශණ දැක්වුවට ඕවැයෙ ඇත්ත ප්‍රථිපල විදින්නෙ අපි නොවැ…… ඒවා කතා කොරලා වැඩක් නැහැ. කොහොම උනත් ඒ රෝහලේ ඉන්න ටිකෙත් අපරාදෙ කියන හොද අත්දැකීම් ටිකක් නම් ලැබුනා…… ඒකම මදෑ…

පඳුරකට පයින් ගැහුවත් වැඩිහිටි නිවාස හත අටක් විසිවෙන කාලෙක අපි රෝහලට ගිය වෙලාවෙ පටන් පිටව යන තුරුම එක දිගට එක වයසක සීයා කෙනෙක් අසනීපෙ අමාරුව නිසාම ඉවක් බවක් නැතිව දොස්තරලට, හෙදියන්ට, තමුන්ට තමන්ලගෙ අම්මට, බිරියන්ට, දරුවන්ට පමණක් නොව දකින දකින සියල්ලන්ට සිංහල හොදම සභ්‍ය වචනයෙන් සංග්‍රහා කරමින් ඒ මදිවට ලෝකෙ නැති දස වධ දෙත්දිත් කිසිම වෙනසක් නොපෙන්වා ආදරෙන් බොහොම පරිස්සමට ඔහුගේ පුතුන් දෙදෙනා මාරුවෙන් මාරුවට පියාව බලා ගන්න හැටි දුටු වාරයක් වාරයක් පාසා මගෙ සිතට දැනුන හැඟීම කියා ගන්න බැරි තරම්……

එය එසේ වෙත්දී ඇතම් පිරිස් රෝගීන් අසල නතර කරවන පිස්සු චරිත පිස්සු වැඩ දැක්කම නම් කළකිරුණු අවස්ථා අනන්තයි. විශේෂෙන්ම මුදල් දී කුලියට අයකු තබන අවස්ථා පිළිබදව නම් කතා කර වැඩක්ම නැති තරමය.… එක් අයෙකු දෙදෙනකු හැර අන් සියල්ල වැඩ 'හොරු'ය.

තමන්ගේ කෙනෙකු අසනීප වූ විට ළග තැබීමට කෙනෙකු සොයා ගත නොහැකිම අවස්ථාවක් උදාවුව හොත් කුලියට අයකු තබයි නම් ඒ පවුලේ උදවියට වගකීමක් ඇත විශ්වාස වන්ත වගකීමක් ඇති තැනකින් සේවය ලබා ගැනීමට.

කුලියට රෝගීන් බලා ගන්නා බොහෝ අය කරන්නේ රාත්‍රී 7.30 වන විට නාගෙන 8.30 නමය වන විට කෑමට කියා ගොස් 10.30 / 11.00 වන විට පැමිණ වටේ රවුමක් දෙකක් කැරකී 12.00 / 12.30 වන විට නිදා ගැනීමය.… අවශ්‍ය සියල්ල රෝගීයා කෙසේ හෝ කරගත යුතුය…

තවත් පිරිසක් වාට්ටුවේ සියළු රෝගීන් අසලට ගොස් ඒ ඒ රෝගියාගෙ විස්තර සොයමින් ඇවිදියි. තවත් සම හ‍රක් පැය ගණනම රෝගියා අසලම සිටියත් ශත පහක වැඩක් ඇති පිරිසක් වත් අඩුම තරමෙ රෝගියා පිළිබඳව අනුකම්පාවක් වත් ඇති උන් නොවේ. එයට හොදම උදාහරණයද ඒ රෝහලෙන්ම ලැබුනි.

28 වන සෙනසුරාදා දින උදෑසන අවුරුදු දහතුනක දරුවෙකු ඩෙංගු වැළදී ඇති බවට හඳුනාගෙන රෝහල් ගත කල අතර ඔහු සිටියේ මගෙ බාල සොයුරාගෙ ඇඳට එහා ඇඳේය. වාට්ටුවට ඇතුලත් කරන සියළු ඩෙංගු රෝගීන්ට පැයකට වරක් බීමට නියම කරන ප්‍රමාණයක් ඇති අතර පොතක පැයකට වරක් බීමට ගත් ප්‍රමාණය, වේලාව සහ වර්ගය සටහන් කල යුතුය. එසේම පැය දෙකකට වරක් පිටවන මුත්‍රා ප්‍රමාණය සටහන් කල යුතුය. එ‍ය විටින් විට හෙදියන් පැමිණ ඇඳ ඉහ වාර්ථාවේ සටහන් ක‍ර තබයි.… මේ දෙක ඉතාම වැදගත් අතර අනිවාර්‍යෙයෙන්ම කල ‍යුතුය.

එම දරුවා රෝහලට ඇතුලත් කර දහාවල පියා ලග සිටි අතර රාත්‍රිය සිටීමට කුලියට අයෙකු පැමිණි හෙයින් ඔහුටද අර උපදෙස් සියල්ල දී පහදා දෙන ලදි.

මොහුද සුපුරුදු ලෙස වටේ ඇවිදිමින් පැයකට වරක් පමණ දරුවා අසලට පැමිණ යමින් සිටි අතර රාත්‍රී 11.30ට 12.00 ට පමණ හෙදියක් පැමිණ පොත ඉල්ලා සටහන් කිරීමේදී මුහුණ දුන්නෙ විශාල ගැටළුවකටය.

"මේ මුත්‍රා දිගටම එකම ගාණට යන්නෙ කොහොමද…?? අන්තිම හතර පාරම ගිහින් තියෙන්නෙ එකම ප්‍රමාණෙනෙ…"
"එහෙම තමා මිස් මෙයා දාන්නෙ එකම තරම…"
"මේවා හරියට මනින්න… වරද්දන්න නම් එපා… කෝ බීපුවා ලියපු ටික??"
"ඔය තියෙන්නෙ මිස් අනිත් පැත්තෙ…"
පානය කල දේ පරික්ෂා කල හෙදියගේ දෑස් නලලට යන්නට ගියෙ ඉබේමය.
"මේකෙ 10.15ට පෙවුවෙ මොනවද…????!!!!"
"ඕ…ඕකෙ තියෙන ජාති තමා මිස් පෙවුවෙ……"
"අනේ මේ ඔයාට මෙයාව බලා ගන්න බැරි නම් වෙන කාව හරි ති‍යන්න… පිස්සු කරන්න එන්න එපා මෙතන… දැන් ටිකට් එක බලලා ඩොක්ටර් අහන ඒවාට උත්තර දෙන්න බලාගෙන ඉන්න…"
හෙදිය පිටවූ වහාම කුටු කුටු ගසමින් බැනීමට පටන්ගත් ඔහුගෙන් මා පොත ඉල්ලාගෙන බැලුවේ කුතුහලය නිසාමය……
"අනේ බලන්න මල්ලි මේ ගෑණිට පිස්සුද කොහෙද? ඔක්කොම හරියට ලියලා තියෙත්දි……"
පොත බැලූ මටද දෙවියන් සිහි විය………

පැයට මිලිලීටර් අසූවක් (80ml) බීමට නියම නියම කර තිබූ දරුවාට ඒ ඒ පැයට පෙවූ වර්ගය ලියන තීරුවේ ජලය, ජීවනී, පළතුරු යුෂ අතර 10.15ට පානය කල බවට සටහන් කර තිබුනේ මුත්‍රාය.

© ප්‍රියා. {07/07/2014}

(පින්තූරයට ස්තූතිය……
http://www.madhyamam.com)